
අපගේ ගම වටා එකල මහා වනාන්තරයක් විය. ඉතා දක්ෂ දඩයක්කාරයකු වූ මගේ පියාණන්දෑ තුළ වනාන්තරය පිළිබඳව වූයේ අනල්ප වූ ඥාන සම්භාරයකි. උන්දෑගෙන් උරුම කොට ගත් දැනුම මෙම නව කථාවේ හරය වෙයි. දඩයක්කාරයාගේ කතාවේ මුල්මණ්ඩලය සංස්කෘතික පොළෝතලය පසාරුකරගෙන වසර දස දහස් ගණනාවක් ඈත සිට පැවති දඩයම් යුගය තෙක් විහිදී යයි. එම ඓතිහාසික කතා විකාශනයේ නූතන සාහිත්‍යමය රිකිල්ලක හැඩහුරුකම් දඩයක්කාරයාගේ කතාව නම් මෙම කෘතියෙන් පෙන්වා දෙයි.